දළදා පෙරහැර වාණිජකරණයෙන් බේරාගමු

දළදා පෙරහැර ලාංකීය බෞද්ධයන්ගේ පමණක් නොව සකල ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් වූ හෙළයේ  මහා මංගල්‍යය ලෙස සැලකේ. එය හෙළ ජාතිකයන්ගේ  අනන්‍යතාවය ලොවට කියාපාන අසිරිමත් මංගල්‍යයකි.

දළදා වහන්සේට කෙරෙන පූජාවක් ලෙසද, කළට වැසි ලැබී ගොවිතැන් සස්රීක වී අටුකොටු පිරීයන සමෘද්ධිමත් කාලයක් උදාවීම අරමුණු කරගෙන  දළදා පෙරහැර පැවැත්වේ. එනිසා මෙම මහා මංගල්‍යය  ඉපැරණි උතුම් චාරිත්ර වාරිත්රයන්ගෙන් පරිපූර්ණ මහා පූජාවක් ලෙස සැලකෙන අතර එය සංදර්ශනයක්  නොවේ.

බොදුනුවන් දස දහස් ගණනින් මහනුවර වීථිපුරා පදික වේදිකාවේ පැය ගණන් දින ගණන් ගත කරමින් මේ උතුම් වූ පූජාවට සම්බන්ධවෙති. පෙරහැර කරඩුව පිටමත තබාගෙන ගාම්භීර විලාශයෙන් සීරුවෙන් පාතබමින් පාවඩ මතින් ඉදිරියට ඇදෙන ඇතා  බොදු හදවත්  තුළ බුද්ධාලම්භන ප්රීතිය වඩවන අතර පදික වේදිකාවේ පොදි බැද සිටින දස දහස් ගණන් බොදුනුවෝ නැගී සිට සාධු ! සාධු ! සාධු ! යනුවෙන් හඩනගන්නේ සෙංකඩගල  පුරවරය ගිගුම්දෙන බෙරහඩද අභිබවමිනි.

මේ අතර වරප්රසාදලත් තවත් පිරිසක් තට්ටු ගණන් උස ගොඩනැගිලි කවුළු තුලින් පෙරහැර නරඹති. මේ අතර බෞද්ධ මෙන්ම අබෞද්ධ අයද සිටිති. ඔවුන් මහ හෝටල් හා මන්දිර තුළට වී එක් අතකින් මධුවිත බදුනක්ද  අනෙක් අතින් කටගැස්මට මස් කැබැල්ලක් ද ගෙන සිනා  මුසු මුහුණින් පෙරහැර අසිරිය විදිති. මහනුවර නගරය තුළ මත්බීම හල් වසා තබන නමුත් මෙවැනි තැන්වල  ඕනෑ තරම් මධුවිත තිබේ.  ඒ දළදා කරඩුවට දක්වන  සැලකිල්ලේ තරමය.

දළදා පෙරහැර  පැවැත්වීම සදහා දළදා මාළිගාව සහ සතර මහා දේවාල විශාල මුදලක් වැය කරනු ලැබේ. ඒ අතර රජයද ආරක්ෂක කටයුතු ඇතුළු රාජ්‍ය මැදිහත්වීම වෙනුවෙන් විශාල වියදමක් දරයි. මහනුවර මහනගර සභාවද කැළි කසල ඉවත් කිරීම හා පවිත්ර කිරීමේ කටයුතු සදහා විශාල වියදමක් දරනු ලැබේ. මේ අතර මේ පෙරහැරින් මුදල් උපයන පාර්ශවයන්ද සිටී. ඒ පෙරහැර මග දෙපස තමන්ගේ ව්‍යාපාරික හා අනෙකුත් ගොඩනැගිලි ඉදි  කරගෙන සිටින වාසනාවන්තයින් හා සංදර්ශණ සැණකෙළි පවත්වා මුදල් උපයන අයයි. පෙරහැර නැරඹීමට  පැමිණෙන විදේශ සංචාරකයන් ඇතුළු දේශීය පොහොසතුන්ට පෙරහැර  ආසන  අලෙවි කිරීමෙන් විශාල ලෙස  මුදල් උපයන පිරිසක් සිටිති. රන්දෝලි  පෙරහැර පැවැත්වෙන දිනයන්හිදී එක් අසුනක් රු 6000 සිට 10000 දක්වා අලෙවි කර විශාල මුදලක් උපයන්නෝ කවරහුද? එම මුදල් යන්නේ කාගේ සාක්කු වලටද? පෙරහැර විකිණීමට මේ අයට ඉඩ ප්රස්ථා ලබාදෙන්නේ කවරහුද? ඒ සදහා ඔවුන්ට ඇති අයිතිය කුමක්ද?

මේ අතර පසුගිය කාලයේ මහමළුව ඇතුලූ පදික වේදිකාවේද ආසන පනවා ඒවා අලෙවිකර විශාල ලෙස මුදල් උපයනු දක්නට ලැබුණි.  මේ ආසන ප්රධාන පෙළේ සංචාරක සමාගම් වෙත කොන්තරාත් ක්රමයට අලෙවි කරනු දක්නට ලැබේ.

එමගින් ආසන පනවන්නන් සහ කොන්තරාත්කරු විශාල ලාභයක් උපයති.  ඒ අය බොහෝ විට අබෞද්ධ අය වෙති. ඔවුන්ට පෙරහැර ගැන හැගීමක් නැත. ඔවුන්ට පෙරහැර  ව්‍යාපාරික අවස්ථාවකි.

එමෙන්ම පෙරහැර මග දෙපස හා නගරයේ කොඩි බැනර් කට්අවුට් එල්ලීමට ව්‍යාපාරික ආයතන වලට ඉඩ ලබාදීමෙන් මහනුවර නගර සභාවද ආදායම් උපයයි. ක්වීන්ස් හෝටලයේ කොරිඩෝව ආසන පැනවීමට බදු දීමෙන්ද මුදල් උපයන්නේ නගර සභාවයි. පෙර වර්ෂයට වඩා ඉදිරි වර්ෂයේදී තම ආදායම් ඉලක්කගත ලෙස වැඩිකර ගැනීම මේ සියළු ආයතනයන්හි පරමාර්ථය වේ.

පෙරහැර මාර්ගයේ මග සලකුණු කිරීමද බැංකු වෙත භාරදෙන අතර එය ප්රචාරක කටයුත්තක් සේ සලකා බැංකු වලින් විශාල මුදලක් අය කර ගනී.

ලංකාවේ සියළුම රූපවාහිනී නාලිකාවන් පෙරහැර සජීවී ලෙස විකාශනය කිරීමට  ඉදිරිපත් වේ. ආරම්භයේ දී මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා ලංකා රූපවාහිණී සංස්ථාව තම වියදමින් පෙරහැර සජීවීව රටට පෙන්වීය. එහෙත් අද සියළුම විද්‍යුත්  මාධ්‍ය පෙරහැර සජීවී ව පෙන්වීමට විශාල මුදලක් ව්‍යාපාරික ආයතන වෙතින් අය කර ගනිති.

මීට අමතරව මහනුවර නගරය තුළ සැණකෙළි පැවැත්වීමෙන් විශාල මුදලක් උපයන ආයතන තිබේ. මේ සැණකෙළිවල සුදු කෙළීමද ජයටම සිදුවේ. ‘‘මේ සැණකෙලි සමයයි ’’ යන  යන පාඨය මේ ආයතනයන්හි තේමාව බවට පත්ව තිබේ.

මේ අතර පෙරහැර මග දෙපස රැස්ව සිටින සමහර තරුණ පිරිස් අලංකාර නර්තන විලාශයක්  දුටු විට  අත්පුඩි  ගැසීමටත් විසිල් ගැසීමටත් පටන් ගෙන තිබීම නවතම මෝස්තරයක් වී ඇත. මෙම පෙරහැරේ ඓතිහාසික අගය හා එහි අරමුණ නොදන්නා අය මෙසේ හැසිරෙති. මේ අය දැනුවත් කිරීමට කිසිවෙක් කිසිම දෙයක් නොකරන බවද පෙනේ.

පෙරහැර කාලය තුල මහනුවර නගර සීමාව තුළ මත්බීම අලෙවිය තහනම් කෙරේ. එහෙත් නගර සීමාව අවට  ඕනෑතරම් බීමහල් විවෘතව පවතී. නගර මධ්‍යයේ සිට කි.මි දෙක තුනක් ගියවිට  ඕනෑ තරම් මත්බීම ලබාගත හැක. එම මත්බීම හල් සදහා සිංහල අවුරුදු කාලයෙන් පසු හොදම ආදායම් ඉපැයෙන කාලය පෙරහැර කාලයයි.  ඕනෑ තරම් මත්බීම නගරය තුළට රැගෙන එන අතර බොහෝ විට තොග රැස් කර තබා ගැනීමද සිදුවේ. එනිසා මෙයද රැවටීමක් පමණි. ව්‍යාපාරික උවමනාවන්  ඕනෑවටත් වඩා ඉහලින් ඉටු වේ. මේ සදහා ගතහැකි එකම පිළියම මුළු දිස්තිරික්කයේම බීමහල් වසා තැබීමයි. නීතිය හරිහැටි  කිරියාත්මක  කරන්නේ නම් මේවා  ගැටළුනොවේ. පෙරහැර  බැලීමට දේශපාලඥයන් රැස්වන හෝටල් වල මත්බීම සදහා පනවා ඇති මේ නීති කිසිසේත් අදාල වන්නේ නැත.

වර්තමාන දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පෙරහැර චාරිත්රානුකූලවත්, විචිත්රවත් පැවැත්වීමට  දරණ උත්සාහය  අගය කරමු. ඒ අතර ඉහත කරුණු කෙරෙහිද අවධානය යොමු කර දළදා  පෙරහැර වාණිජ කරණයෙන් බේරා ගෙන  පෙර රජදවස පැවැති ලෙස චාරිත්රානුකූල මංගල්‍යයක් සේ පැවැත්වීමට කටයුතු කර ගනු ඇතැයි යන්න බොදු ජනතාවගේ අපේක්ෂාවයි.

දම්සර මාන්ඩලික වාර්ථාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

15,856 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.