අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා තිබෙනව

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා ගමනය බැතිබර සිතින් සැමරෙන අති උතුම් ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්‌ථානය හා මිහින්තලේ රජමහා විහාරස්‌ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පිංකම්වලට දිවයිනේ දස දෙසින් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මේවන විට සියලු පහසුකම් සලසා ඇති බව අනුරාධපුර පොසොන් උත්සව කමිටුවේ සභාපති අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතාදිවයින”ට පැවැසීය. “පොසොන් සඳ – නිවාලයි සිත” මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබේ.මේ අනුව ඊයේ (12දා) දිනෙන් ඇරඹි ජාතික පොසොන් සතිය ලබන 18 වැනිදා දක්‌වා ක්‍රියාත්මක වේ. 

අනුරාධපුර අටමස්‌ථානාධිපති, උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන් ඇතුළු අටමස්‌ථානයේ හා මිහින්තලේ රජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා මත මිහින්තලා රජමහා විහාරස්‌ථානයේ පිංකම් රැසක්‌ පැවැත්වේ.

පොසොන් පුන් පොහෝ දින එම සිද්ධස්‌ථායන් හිදී දවස පුරා දාන ශීල භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බුද්ධ පූජා මල් පහන් පූජා ආදී පිංකම් රැසක්‌ පැවැත්වීමට විවිධ බෞද්ධාගමික සංවිධාන හා ආයතන මගින් මේවන විට පියවර ගෙන ඇත.

මේ සඳහා දිවයිනේ සිව් දෙසින් විසිලක්‍ෂයකට අධික බැතිමතුන් පිරිසක්‌ අනුරාධපුර හා මිහින්තලේට පැමිණෙනු ඇති බවත්, ඒ අනුව පැමිණෙන සියලුම බැතුමතුන්ට අවශ්‍ය පහසුකම් හා සේවාවන් සැලසීමට පියවර ගෙන ඇති බවත් දිස්‌ත්‍රික්‌ ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා කීය.

මේ අතර අනුරාධපුර හා මිහින්තලේට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය හා බස්‌රථ සේවාවන් අද (13 දා) සිට ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුර සිට මිහින්තලේ දක්‌වා ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් 14, 15 හා 16 යන දිනයන් හි අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්‌ථානයේ සිට මිහින්තලේ දුම්රිය ස්‌ථානය දක්‌වා ගාස්‌තු අයකිරීමකින් තොරව දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බවත් හෙතෙම කීය.

මේ අනුව අනුරාධපුර හා මිහින්තලේ දක්‌වා දුම්රිය ගමන්වාර 56 ක්‌ ක්‍රියාත්මක වේ.

වෙනත් වර්ෂවලට වඩා මෙවර අනුරාධපුර හා මිහින්තලේ සිද්ධස්‌ථාන ආශ්‍රිතව දන්සල් විශාල සංඛ්‍යාවක්‌ පැවැත්වීමට විවිධ සංවිධාන හා ආයතන රැසක්‌ ඉදිරිපත් වී සිටින අතර, දන්සල් සංවිධායකයන් ඒ සඳහා යුහුසුලුව සංවිධානය වන අයුරු ඊයේ (12 දා) දක්‌නට ලැබිණි.

මේ අතර පොසොන් පෝය දින හා ඊට පසුදින අනුරාධපුර නගරයේ විශාල ප්‍රමාණයේ තොරණ දෙකක්‌ ප්‍රදර්ශනය කිරීමටත්, පහන් කූඩු ප්‍රදර්ශන, බැති ගී සංදර්ශන සහ මිහින්තලේ නගරයේදී මිහිඳු පෙරහැර පැවැත්වීමටත් කටයුතු සංවිධානය කොට තිබේ.

පොසොන් සතිය තුළ අනුරාධපුර නුවරවැව හා තිසාවැවෙන් දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති අතර ඒ සඳහා බසවක්‌කුලම, මහකනදරාව, නාච්චිදූව, බලලුවැව, කලාවැව යන වැව් හා යෝධ ඇළ පරිහරණය කරන ලෙස බැතිමතුන්ගෙන් පොසොන් උත්සව කමිටුව ඉල්ලීමක්‌ද කර සිටී.

මේ අතර අනුරාධපුර හා මිහින්තලේ සිද්ධස්‌ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා සහ මාර්ගෝපදේශක සේවාවන් සැලසීමට පොලිස්‌ නිලධාරීන් හාරදහසක්‌ යෙදවීමට සැලසුම් කොට ඇතැයි උතුරු මැද දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජයන්ත ගමගේ මහතා පැවැසීය.

මේ අතර පොසොන් උත්සව සමයේ අනුරාධපුර හා මිහින්තලේ ප්‍රදේශයන් හි විශේෂ රථවාහන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර වන්දනා නඩ ගමන් කරනු ලබන සෑම වාහනයකම රියදුරන් වෙත මාර්ගය පූජනීය ස්‌ථාන, රථගාල් හා ගිමන් හැරීමට හැකි ස්‌ථාන ඇතුළත් සිතියමක්‌ බැගින් නොමිලේ ලබාදීමටද පොලිසිය කටයුතු යොදා තිබේ.


දිවයින – අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,409 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.